ඉල්ලා අස්වූ ස්ථානාධිපති රාජ්‍ය සේවයට ආදර්ශයක්


එක් රජයේ නිලධාරියකුට හෝ කොන්ද පණ ඇති බව පෙන්වමින් සේවයෙන් ඉවත්වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා සියලු රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් සැපයූ බව හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනවාරි 09 දිනෙන් පසු මෙරට පොලීසියේ ස්වාධීනත්වය ස්ථපාපිත කිරීමෙන් පසු ඉල්ලා අස්වූ ස්ථානාධිපතිවරයා සියළු වරප්‍රසාද සහිතව යළි එම සේවයේ පිහිටුවන බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ ස්ථානාධිපතිවරයා යළි සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සළකන බවයි. ඔහුගේ ඉල්ලා අස්වීම පොලිස් ආඥා පනතේ 83 වගන්තිය යටතේ වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. 

දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් රාජකාරී කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් සේවයෙන් ඉල්ලා අස් වන බව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්. කීර්ති සිංහ මහතා සඳුදා සවස කීවේය.